.jpg)
ජනතාවට කරන හිරිහැර නවතා වහාම මැතිවරණය පවත්වනු! මහනායක හිමිවරැන්ගෙන් සැර ප්රකාශයක්...
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති
රනිල් වික්‍රමසිංහ මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
2023.03.14
කොළඹ.
ගරු ජනාධිපතිතුමනි,
ඉහළ යන ජීවන වියදම පහත හෙළා මහජන පීඩාවන් අවම කොට සමාජ නොසන්සුන්තාව සමනය කිරීමට නිසි ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක් සකස් කිරීම රට තුළ උද්ගතව තිබූ දැඩි, ආර්ථික, දේශපාලනික හා සාමාජීය අස්ථාවරත්වය යම් පමණකට සමනය කොට රට තුළ ස්ථාවරත්වයක් ඇති කිරීමට ගරු ජනාධිපතිතුමන් විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳ මහා සංඝරත්නය ලෙස අපගේ ප්‍රසාදය පළ කරමු.
එහෙත් පසුගිය කාලවකවාණුව තුළ සිදු වූ ආර්ථික සංකෝචනය, අධි උද්ධමනය දුර්වල රාජ්‍ය කළමනාකරණය මෙන්ම වර්තමානය වන විට ක්‍රියාත්මක වන අධික විදුලි ගාස්තු, ජල ගාස්තු ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යන්ගේ මිල දැරිය නොහැකි ප්‍රමාණයකින් ඉහළ යාම හේතුවෙන් ජන ජීවිත අඩාළ වීමත් සමග උද්ගතව ඇති සමාජ පීඩනය පිළිබඳ ගරු ජනාධිපතිතුමන් ද මනා අවබෝධයකින් පසුවනු ඇතැයි අපි සිතමු.
උද්ගතව ඇති ආර්ථික අභියෝගයන්ට සාර්ථකව මුහුණ දී ඉහළ යන ජීවන වියදම අවම කොට මහජන ජීවිත සුරක්‍ෂිත කිරීමට ජනතා හිතවාදී ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමට රජය වහා කටයුතු කළ යුතුය. එසේම මෙම තීරණාත්මක අවස්ථාවේ රට ආර්ථික වශයෙන් යළි ස්ථාවර කිරීමට සියලු පාර්ශ්වයන් සිය යුතුකම් හා වගකීම් මනාව වටහාගෙන කටයුතු කළ යුතු බව අපි තරයේ විශ්වාස කරමු. ඒ සඳහා ප්‍රායෝගික තිරසර ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව පසුගිය කාලවකවාණුව පුරාවටම අපි පෙන්වා දුන්නෙමු. මහජන සුභසිද්ධිය උදෙසා පක්ෂ දේශපාලන න්‍යාය පත්‍රයන් ඉවත ලා ජාතික ප්‍රතිපත්තීන් මත පදනම් වූ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අපි නැවතත් අවධාරණය කර සිටිමු.
ජීවන වියදම ඉහළ යාමෙන් ජන ජීවිත අඩාළ වීමත් සමග සිදුවන සමාජ පරිහානිය හා අරාජිකත්වය පිළිබඳ බෞද්ධ සුත්‍ර සාහිත්‍යාගත කූටදන්ත සූත්‍රය, චක්කවත්ති සිහනාද සූත්‍රය වැනි සූත්‍ර තුළ මනාව විස්තර කොට ඇත. එහෙයින් ආර්ථික අර්බුදයේ සමස්ත බර මහජනතාව මත පැටවීම වෙනුවට රාජ්‍ය මුදල් නිසි කළමනාකරණය, දුෂණය පිටු දැකීම රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීම, මහජන නියෝජිතයින් භුක්ති විඳින අසීමිත වරප්‍රසාද ඉවත් කිරීම වැනි ප්‍රායෝගික විසඳුම් තුළින් මහජන පීඩාවන් අවම කිරීමට රජය කටයුතු කළ යුතු බව අපි අවධාරණය කර සිටිමු.
තව ද, පළාත් පාලන මැතිවරණය කල් දැමීම මහජනතාව අතර යම් නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමට හේතු වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම යනු නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින් ජනතා පරමාධිපත්‍ය තහවුරු කිරීම බව ජනතා පරමාධිපත්‍යට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍ය නායකයෙකු ලෙස සම්භාවනාවට පාත්‍රව ඇති ඔබතුමන් ද මනාව දන්නා කරුණකි. එහෙයින් පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීම රජයේ වගකීමයි.
පවතින ගැටලු පිළිබඳ සිදුකරන මහජන විරෝධතාවන් රට තුළ දේශපාලන, ආර්ථික හා සාමාජීය අස්ථාවරත්වයක් ඇති කිරීමේ අරමුණින් ක්‍රියාත්මක නොකළ යුතුය. එසේම සාමකාමීව රටේ නෛතික සීමාවන්ට අනුගතව නිදහසේ ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මහජනතාවට තිබිය යුතුය. එහෙයින් නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරමින් මහජන ගැටලු පිළිබඳ සංවේදීව ජීවන වියදම පාලනය කොට ජන ජීවිත ක්‍රමයෙන් යථාවත් කිරීමට රජය කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ඒ සඳහා ඔබතුමන්ට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය ලැබේවායි ආශංසනය කරම්හ.
ඒ වගත් මෙසේම,
මහනුවර උජෝෂිත පුෂ්පාරාම විහාර ද්වයාධිපති,
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන,
මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ,
මහානායක ස්ථවිරයන් වහන්සේ
මල්වතු මහා විහාරය - මහනුවර,
හයගිරි විජයසුන්දරාරාම විහාර ද්වයාධිපති
වරකාගොඩ ධම්ම සිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන
මහා විහාර වංශික යාමෝපාලි මහානිකායේ,
මහා නායක ස්ථවිරයන් වහන්සේ
අස්ගිරි මහා විහාරය - මහනුවර.
0 Comments: